අද දින මාගේ මව Youtube හරහා මාවරලේ භද්දිය හිමිගේ මිනිස්සු මැනීම යන මාතෘකාව මුල් කොටගෙන කියැවුනු බණකට සවන්දී සිටින බව ඇසින.
පහුගිය දින වල:
“අනේ මට නං ඔය බණ දැන් ඇති. මගේ ඔළු ගෙඩියේ ඇතුලෙ ඉන්න එකාගේ බණ නවත්ත ගන්න බැරුව මේ ඉන්නෙ. මට ඇහෙන්න නං ඕවා දාන්න එපා, Headphones දාගන්න”
යැයි මවට පවසා ඇතිව තිබූ මම, මාගේ කාමරයෙන් එලියට විත් මෙයට සවන් දීමට යෙදින. සිනහ මුවින් සැරසී, බොහොම සරල මුත් වටිනා ඔවදන් රැසක් භද්දිය හිමි අප පාමුල තබනනට යෙදින. එම බණ වැකි වලට කැමති වූ මා, ඉවසීම යන මාතෘකාව යටතේ හිමි කියූ බණටත් සවන් දුන්නෙමි.
පසු ගිය වසර දහයක් පමණ කාලයක සිට තාමා තුලින් යම් කිසි ජීවිත ගවේෂණයක යෙදුන මා හට අදටත් ඉවසීම කැඩී බීඳී යන අවස්ථා එමටව ඇත. එසේ ඇති මා හට මේ වදන් ඇසෙද්දී ඉවසීම පිළිබඳ යම් යම් පෞද්ගලික අදහස් පහල විය.
එවෙලේ සිට Youtube හරහා මගේ මව් භාශාවෙන් එම අදහස් ප්‍රකාශ කිරීමට නලියමින් සිටි මා, ඒ අදහස් ඔබ හමුවේ තබනනටයි මේ සූදානම.
සෑම ආගමකම වාගේ ඉවසීමේ ඇති අනර්ඝ භාවය ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳ නැවත විශ්ලේෂණයක් කල යුතු නැති බව මට සිතේ.
නමුත් අප සැබවින්ම ඉවසීම කියන්නේ කුමකටද කියන මාතෘකාවයි මාගේ කථාවේ පදනමට මා තෝරාගත්තෙ.
මම වසර පහකට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ තියෙන ආරණ්‍යක අටසිල් සමාදන් වී, ආරණ්‍යය ගොඩනැගීමේ කටයුතු කරමින් භික්ෂු භික්ෂුණියන්ට සිව් පසයෙන් උපකාර කරමින් කල් ගෙවිමි. මෙදින වල සංඝ පිරිස, තරහ පාලනය (Anger Management) පිලිබඳ පන්තියත් සුදානම් කර, මාහටද එයට සම්බන්ධ වන ලෙස ඇරයුම් කලේය. පන්තිය පැවැත්වූයේ ඕස්ට්‍රේලියාව වාසය කරන ශ්‍රී ලංකික උපාසිකාවකි.
ඇය අපට අගනා ඔවදන් සහ එදිනෙදා උපයෝගි කලහැකි දැනුම ලබා දුන් නමුදු, මාගේ මතකයේ වැඩිපුරම රැඳුනේ ඇය කතාව ආරම්භයේදීම ගත් උපමාය.
ඇය අපට මතක් කලේ, අප හට අපි පිළිනොගන්නා හෝ අපට රිදවෙන කරුණක් යමෙක් ප්‍රකාශ කල විට, අප එයට ප්‍රතිචාර දක්වන අන්දම ඒ යම් කෙනා අනුව වෙනස් වන බවයි. මෙහිදී ඇය ඒ යම් කෙනා තම යහළුවෙක්, පවුල් සාමාජිකයෙක්, තමාගේ සමග රැකියා කරන සේවකයෙක්, ගුරුවරයෙක්, වැඩිහිටියෙක්, පූජ්‍ය පක්ෂයේ සාමාජිකයෙක් යන අය සලකා බලන ලෙස ඉල්ලා සිටියේය.
මේහිදි අප දුටුවේ, යමෙක්ට අප කේන්තියෙන් කඩා පනින්න ඉඩ ඇති අතර, පූජ්‍ය පක්ෂයේ සාමාජිකයෙක් වැන්නෙක්ට “ඔව් ස්වාමීන් වහන්සේ” කියා වැඳ වැටෙමින් ප්‍රකාශ කරන්න තියෙන හැකියාවයි. එහිදී අපට ඇය පෙන්වූවේ, අපට බාහිරින් පැමිනි සංවේදකයෙන් අපට ඇතිවෙන ආවේගයත්, එයට අපි ප්‍රතිචාර දක්වන අවස්ථාවත් අතර කාල පරිච්ඡේදයක් හෝ සිතීමට කාලයක් පවතින බවයි. ඒ කියන්නෙ අපේ ප්‍රතිචාරය මොහොතකට හෝ හිතා මතා කරන ක්‍රියාවක් බවයි.
එතකොට මා ඔබ හමුවට ගෙනෙන ප්‍රශ්නය වන්නේ, මේ ප්‍රතිචාරය වෙනස් කර ගැනීම හෝ පාලනය කරගැනීම ද ඉවසීම කියන්නේ. නැත්නම් අපට ඇතිවන ආවේගය නතර කර ගැනීමද.
මම සමාජයෙන් සහ පාසලෙන් ඉගෙන ගත්තේ, ඉවසීම කියන්නේ මේ ප්‍රතිචාරය සඟවා ගැනීම හෝ පාලනය කරගැනීම කියාය. මෙය සමාජයීය ලෙස ජීවිතය පහසු කලද මෙහි අධ්‍යාත්මික වර්ධනයක් නම් කිසි සේත් නොමැති බව වැටහී ඇත. ඊට අමතරව මෙසේ පාලනය කිරීම සමාජයේ මිනිස් මැණුමට අනුව “හොඳ පුද්ගලයෙක්” වීමට කරන උපායක් ලෙස ද මා පාවිච්චි කර ඇති බව මම හොඳින් දනිමි. එයත් තාමාගේ අධ්‍යාත්මික වර්ධනයට කිසිම උපකාරයක් නොකරයි.
එසේ නම් ආවේගය නතර කරගැනීම ද ඉවසීම කියන්නෙ?
ආවේගය අපිට ඇබයක් ගසා වතුර පයිප්පයක් නතර කරන ලෙස නතර කල හැකි ද?
එයත් අපි සමාජයක් ලෙස පුරුදු පුහුණු කල ඇති දෙයක් බව මා හට දැනේ. නමුත් එසේ “ඇබයක්” ගසා පාලනය කරගන්නා හැඟීම් ආවේග, බැම්මක් බිඳගෙන ගලනා ජලාශයක් ලෙස යම් දිනෙක පිටවි යන බවත් මා පෞද්ගලිකව අවබෝධ කරගෙන ඇති දෙයකි.
මෙසේ කියනා මා, තවමත් තරහ සහ ලිංගික හැඟීම් දැනෙන කෙනෙකි. එවා ඇති නොවන තැනක් ආධ්‍යාත්මික ලෝකයේ ඇතිදැයි මා නොදනිමි. නමුත් ඒ ආවේයන් බවත්, එයට මම සිටිනා ස්ථානය, ඒ අවට සිටින පිරිස අණුව කැමැත්තක් හෝ අකමැත්තක් ඇතිවෙන බවත්, ඒ කැමැත්ත හෝ අකමැත්ත පිළිබඳවත් සිත් සංවේග ඇති කරගත හැකි බවත් මම දැක තිබෙමි. මේ කෙලවරක් නොමැති අවේග, සිතුවිලි, සංවේග ජාලය ඒ ඒ අවස්ථාවේදී තවදුරටත් යාමට නොදී ඒ මොහොතට සිත යොමු කර නවතා ගත හැකි බවත් මා මා තුලින් දැක ඇත.
උදාහරණයක් ලෙස, ඊයේ දින පාන්දර මා ලිවූ ලිපියක් මම Facebook group එකක පල කල අවස්ථාවේදී, එම group එකේ Admin කණ්ඩායම එය ප්‍රතික්ෂේප කලේය. එවිට මාගේ කන් දෙපස රත්වීගෙන එන බවත්, ඇඟ පත රත් වීගෙන එන බවද් දැනින. මා එවිට මා මා සමඟ මේසේ කථාබහක යෙදිමි:
මම 1: කමක් නෑ නිමේෂ්, කලබල වෙන්න එපා. දැනෙනවාද කන් රත් වීගෙන එනවා? දැනෙනවාද ඇඟ රත් වීගෙන එනවා? ඔහොම්ම ඉන්න. ඇඟට දැනෙන දේ විඳින්න.
ටික වේලාවකින්…
මම 1: ඇයි මෙහෙම වෙනනේ දරුවො?
මම 2: ප්‍රතික්ෂේප වෙච්ච එකට මම අකමැති. මට ලැජ්ජාවක් දැනෙනවා. මට දුකයි.
මම 1: ඒ වුණාට ඒගොල්ලෝ පැහැදිලි කරා නෙ මේක group එකේ අනිත් අය ගැන හිතලා topic එක sensitive වැඩී නිසා ප්‍රතික්ෂේප කලේ කියලා.
මම 2: ඒ වුණාට මට දුකයි. මම ආසාවෙන් ඒක පල කලේ.
මම 1: ආ කමක් නෑ දුක හිතෙන්න දෙන්න.
ටික වෙලාවකින්…
මම 2: හැබැයි මේගොල්ලො මගේ හැඟීම් පරෙස්සම් කරනව ඇතතෙත් මෙහෙම නේද?
මම 1: ඔව් නේ.
මම 2: ඒක හොඳයි නේ. ඔන්න ඔහෙ කමක් නෑ. මට ඕනෙනං මාගේ වෙබ් අඩවියේ ඒක මම පසුව පල කරනනම.
මාගේ ශාරීරයට දැනුන වේදනාව ද එසේම පහ වී ගියේය.
මට මෙහිදී පෙන්වීමට ඕන වූයේ, මා, මා හට දැක්වූ ආදරය සහ කරුණාවයි. ඒ කරුණාව නිසාත්, මම මට ළදරුවෙකුට මෙන් කතා කල නිසාත්, මාගේ ආවේගය පිටුපස තිබූ සැබෑ හැඟීම් එලිකරගැනීමට මට පුළුවන් විය. ඒ සැබෑ හෑඟීම් ද මම ආදරයෙන් භාරගෙන “නිමේෂ” ට දුක හිතෙන්න ඉඩකඩ සැලසූ විට, “නිමේෂ” ම, වෙච්ච දේ හොඳ බව දැක, ආවේගය නැති සතටු තැනකට ආවේය.
මට දැන් තේරෙන අන්දමට මෙය අර ඉහත කී ඉවසීම් දෙකටම වඩා වෙනස්. අපි සමාජයටත් තමාටත් එක ලෙස ආදරය සහ කරුණාව දක්වන තැනදී එන සැනසීම දුටු තැන, ඉවසීම ඇති විය.
ඉවසීම නැති තැන සැනසීම නැති බව අත පය කඩා ගෙන ගහමරා ගත අයත්, වාග ප්‍රහාර ඔස්සේ හිරිහැර කරගත් අයත්, මමත් හොදින් දනනා කරුණකි. නමුත්, ඉවසීමෙන් සැනසීම ලැබෙන බවට වඩා මට දැන පෙනී යන්නෙ, සිතේ සැනසීම ඇතිව තැන ඉවසීම ඉබේ ඇතිවන බවයි. අවට කෙනෙක් අපට රිදවෙන වචන කියද්දී, අපිත් අපිව රිදවෙන වචන අපිටම කියා ගන්නවා වෙනුවට, ආදරයෙන් කරුණාවෙන් කතා කල විට, තම සිත හීලෑ වෙන්නේ, කුඩා දරුවෙකු නොහොබිනා වැඩක් කල පසුත් මා පිය තුරුලේ ආදරයක් නොඅඩුව සුවසේ නිදා ගන්නාක් මෙනි.
එය නෙමෙයි ද සැනසීම. එසේ සැනසුණ විට, ඉවසීමක් අවශ්‍ය වෙයි ද?
– නිමේෂ –